ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය........... - Global Tamil Voice உலக தமிழ் குரல்

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය...........

 



විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ පිළිබඳ ආඥාපනත සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

අද (09) පාර්ලිමේන්තුවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණ දැනුම් දෙමින් නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා මේ බව ප්‍රකාශ කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව යටතේ අභියෝගයට ලක්කර තිබූ 2026 අංක 79 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ (සංශෝධන) පනත් කෙටුම්පත (LDO 8/2026) සහ 2026 අංක 80 දරන විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ (සංශෝධන) පනත් කෙටුම්පත (LDO 11/2026) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සලකා බලා තිබේ.

ඒ අනුව, 2026 අංක 79 දරන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී නිශ්චිත සංශෝධන කිහිපයක් සිදුකිරීමේ කොන්දේසියට යටත්ව පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

යෝජිත 77අ(5) වගන්තියට අදාළ මෙම සංශෝධන මගින් සැකකරුවකු අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු දිනය සහ අදාළ වාර්තා සැකකරුට හෝ ඔහුගේ නීතිඥවරයාට භාරදීම සම්බන්ධ කරුණු සංශෝධනය කිරීමට නියමිතය.

මේ අතර, 2026 අංක 80 දරන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට පටහැනි නොවන බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ. ඒ අනුව, එම පනත් කෙටුම්පතද පාර්ලිමේන්තුවේ සරල බහුතරයකින් සම්මත කළ හැකිය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීරණ පාර්ලිමේන්තුවේ එදින කටයුතු පිළිබඳ නිල වාර්තාවට ඇතුළත් කරන ලෙසද නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා උපදෙස් ලබා දී ඇත.

About Lanka Theepam